Sri Lanka

ECLIPSE යනු?

What is ECLIPSE and the collaborative institutions

ECLIPSE (Empowering people with Cutaneous Leishmaniasis: Intervention Program to improve patient journey and to reduce Stigma via community Education) යනු චර්මගත ලීශ්මේනියා රෝගය (සම මත ඇතිවන ලීශ්මේනියා රෝගී තත්ත්වය) ආසාදිත පුද්ගලයින් සහ ඒ ආශ්‍රිත ප්‍රජාව සවිබලගැන්වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියකි. මෙම සිව් අවුරුදු (2019-2023) පර්යේෂණ වැඩසටහන, කීල් විශ්වවිද්‍යාලය (එක්සත් රාජධානිය) මූලික කරගෙන, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, බාහියා ෆෙඩරල් විශ්වවිද්‍යාලය (බ්‍රසීලය) සහ මෙකේල් විශ්වවිද්‍යාලය (ඉතියෝපියාව) යන විශ්වවිද්‍යාලයන් හි අන්තර් සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වේ.

ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ වී ඇති අධ්‍යයන ආයතන:

ECLIPSE ව්‍යාපෘතියේ අරමුණු:

Goals and objectives of ECLIPSE

ශ්‍රී ලංකාව, බ්‍රසීලය සහ ඉතියෝපියාව යන රටවල චර්මගත ලීශ්මේනියාව ආසාදිත පුද්ගලයන්ගේ   කායික, මානසික සහ සමාජීය සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සහ එම රෝගය ආශ්‍රිතව පවතින අභියෝග හඳුනාගනිමින් ඒවාට සාර්ථකව මුහුණදීම සඳහා ප්‍රජාව සවිබලගැන්වීම මෙම ව්‍යාපෘතියෙහි  ප්‍රධාන අරමුණ වේ. එහිදී,

  • චර්මගත ලීශ්මේනියාව පිළිබඳ ප්‍රජාවගේ දැනුම්වත්බාවය වැඩි කිරීම
  • කඩිනමින් රෝගය හඳුනා ගැනීම සහ ප්‍රතිකාර ලබාගැනීම සඳහා ප්‍රජාව පෙළඹවීම
  • මෙම රෝගය ආශ්‍රිතව පවතින අපකීර්තිය (stigma) අවම කිරීම සඳහා ප්‍රජාව බලගැන්වීම
  • සෞඛ්‍ය කාර්යමණ්ඩලයට මෙම රෝගීන් සඳහා උපකාරී වියහැකි ක්‍රමවේදයන් ස්ථාපිත කිරීම

යන ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය සහ සමාන්තර විද්‍යා පීඨයේ, ප්‍රජා වෛද්‍ය අධ්‍යයනාංශය, ECLIPSE ව්‍යාපෘතිය සඳහා පර්යේෂණ දායකත්වය සපයයි.

ECLIPSE -ශ්‍රී ලංකා ව්‍යාපෘති කණ්ඩායම

ECLIPSE – Sri Lanka Team

ශ්‍රී ලංකාව තුළ චර්මගත ලීශ්මේනියා රෝගයේ  ව්‍යාප්තිය

Cutaneous Leishmaniasis in Sri Lanka

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව චර්මගත ලීශ්මේනියාව යනු, ලොව නොසලකා හැර ඇති නිවර්තන කලාපීය රෝගයන් (Neglected Tropical Diseases) අතුරින් ප්‍රමුඛස්ථානයේ පසුවන රෝගයකි. ‘ලීශ්මේනියාව’, ලාංකික ප්‍රජාවට නුපුරුදු රෝගී නාමයක් වුවත් එය සමාජය තුළ  ප්‍රචලිත වී ඇත්තේ, ‘වැලි මැස්සාගේ’ රෝගය ලෙසය. රෝගකාරක ලීශ්මේනියා පරපෝෂිතයින් මඟින් ආසාදිත ගැහැනු වැලි මැස්සෙකුගේ (ෆ්ලෙබොටොමයින් විශේෂයට අයත්) සපාකෑමක් මඟින් මෙම රෝගය මිනිසාට ආසාදනය වීම සිදු වේ. චර්මගත ලීශ්මේනියාව (Cutaneous leishmaniasis), චර්ම-ශ්ලේෂ්මල පටලගත ලීශ්මේනියාව (Muco-cutaneous leishmaniasis) සහ අභ්‍යන්තර ඉන්ද්‍රීය ආසාදනය (Visceral leishmaniasis) ලෙස මෙම රෝගයේ  ආකාර කිහිපයක් හඳුනාගත හැකිය. කෙසේ වුවත් සම මත තුවාල ඇති කරන, සුව වීමට දිගු කාලයක් ගතවන, සුව වීමෙන් පසු කැළැල් ඇති කරන චර්මගත ලීශ්මේනියාව, ශ්‍රී ලංකාව තුළ ලීශ්මේනියා රෝගයේ වඩාත් සුලබ ආකාරය වේ. හුදෙක් සම මත ඇතිවන තුවාලවලින් ඔබ්බට ගොස්, මෙම රෝගය හේතුවෙන් රෝගීන්ට සහ ප්‍රජාවට ඇති කෙරෙන කායික, මානසික, සමාජීය හා ආර්ථිකමය බලපෑම අති මහත් ය. ශ්‍රී ලංකාව තුළ චර්මගත ලීශ්මේනියාව ආසාදිත පුද්ගලයෙකු මුල්වරට 1992 වර්ෂයේ දී   දකුණු පළාත තුළින් වාර්තා වූ අතර පසුගිය දශක තුනකට ආසන්න කාලය තුළ මෙම රෝගය අනුරාධපුර, පොළොන්නරුව, මාතර, හම්බන්තොට හා කුරුණෑගල යන දිස්ත්‍රික්ක තුළ සැලකිය යුතු මට්ටමින් වාර්තා වී ඇත.

2009-2016 කාලය තුළ ශ්‍රී ලංකාව තුළ ලීශ්මේනියා රෝගීන්ගේ ව්‍යාප්තිය මූලාශ්‍රය : https://parasitesandvectors.biomedcentral.com/articles/10.1186/s13071-018-2647-5

ශ්‍රී ලංකාව තුළ ECLIPSE ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන ප්‍රදේශ

ECLIPSE- Field sites in Sri Lanka

ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත තුළින් වාර්තාවන චර්මගත ලීශ්මේනියා රෝගීන් ප්‍රමාණය සැලකිය යුතු ඉහළ මට්ටමක පවතින අතර පසුගිය වසර තුනක කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් තලාව, පදවිය සහ නුවරගම් පළාත (නැගෙනහිර) යන ප්‍රදේශවලින් වාර්තා විය. එබැවින්, 2019 වසරේ සිට 2023 වසර දක්වා ශ්‍රී ලංකාව තුළ ECLIPSE ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා  එම ප්‍රදේශ තෝරාගන්නා ලදී. මෙම ප්‍රදේශ ත්‍රිත්වයම කෘෂිකර්මාන්තය මූලික කරගත් ග්‍රාමීය ප්‍රජාවගෙන් යුක්ත වේ.

ECLIPSE ව්‍යාපෘතියෙහි විශේෂත්වය

Community engagement and involvement approach in ECLIPSE

ECLIPSE ව්‍යාපෘතිය සඳහා ‘ප්‍රජාව සහ ආසාදිත පුද්ගලයන්ගේ සහභාගීත්වය සහ මැදිහත්වීම’ (Public and Patient Involvement and Engagement) යන ප්‍රවේශය උපයුක්ත කරගනු ලැබේ. මෙම ප්‍රවේශය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන සෞඛ්‍ය සම්බන්ධ විශේෂ{ වෛද්‍යවරුන් (මූලිකව ප්‍රජා සෞඛ්‍ය සහ චර්ම රෝග විද්‍යාව යන ක්ෂේත්‍රවලට අදාළව), සෞඛ්‍ය වෘත්තීයවේදීන්, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන්, පර්යේෂකයින්, ක්ෂේත්‍ර සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම චර්මගත ලීශ්මේනියාව ආසාදිත පුද්ගලයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, චර්මගත ලීශ්මේනියාව ආසාදිත පුද්ගලයින් රැකබලා ගන්නන්  සහ අනෙකුත් ප්‍රජා සාමාජිකයින් වැනි විවිධ පාර්ශව සම්බන්ධ කරගනිමින් පිහිටුවනු ලබන ප්‍රජා උපදේශන  කමිටු (Community Advisory Groups) සහ විශේෂඥ කමිටු (Community of Practice) උපයුක්ත කරගනු ලැබේ.

 මෙම ව්‍යාපෘතියෙහි සුවිශේෂිත්වය වනුයේ, සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු ආකාරය පිළිබඳ ඉහත සඳහන් පාර්ශවයන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙන්ම, ව්‍යාපෘතිය තුළින් බලපෑමක් ඇති කරනු ලබන සියලු ජන කණ්ඩායම්හි අභිමතාර්ථ නියෝජයනයවන පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම තහවුරු කිරීම යි.

ECLIPSE ගමන් මඟේ සුවිශේෂී අවස්ථා

Milestones in ECLIPSE-Sri Lanka

  • ECLIPSE ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීමේ සමාරම්භක උත්සවය පැවැත්වීම සඳහා සැලසුම් සකස් කරමින් (Start-up discussion on ECLIPSE-Sri Lanka project launch event)

2020.09.21 දින ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨයේ, ප්‍රජා වෛද්‍ය අධ්‍යයනාංශය තුළ පැවති ආරම්භක සාකච්ඡාවේ අවස්ථා කිහිපයක්

  • ලීශ්මේනියා රෝගය සහ වැලි මැසි උවදුරේ දුටු නුදුටු පැතිකඩ සොයා යන ECLIPSE හි ශ්‍රී ලංකා ආගමනය පිළිබඳ ‘රජරට සේවය’ ගුවන්විදුලි නාලිකාව සමඟ පැවති සාකච්ඡාව

(Discussion on ECLIPSE and Leishmaniasis with ‘Rajarata Sewaya’ Radio Channel)

සම්පත් දායකත්වය : මහාචාර්ය සුනෙත් අගම්පොඩි, මහාචාර්ය කෝසල වීරකෝන්, වෛද්‍ය අයේෂ්    

හෙට්ටිආරච්චි

සම්බන්ධීකරණය: වෛද්‍ය ජනිත් වර්ණසේකර  

2020.10.07 දින ‘රජරට සේවය’ ගුවන්විදුලි නාලිකාව තුළ විකාශය වූ විද්වත් සාකච්ඡාව 

  • ECLIPSE ශ්‍රී ලංකාව්‍යාපෘතියට නවමු ආරම්භයක් දෙමින් 2020 ඔක්තොම්බර් මස 08 වන දින  ව්‍යාපෘති කාර්යාලය විවෘත කිරීම (ECLIPSE-Sri Lanka Project Office Opening)

ව්‍යාපෘතිය සම්බන්ධ වැඩිදුර විමසීම්:

Further Contacts